
16 හැවිරිදි දරුවෙකුට කළ අමානුෂික පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පියා, මව දියණිය සහ පුතා අද (04) සවස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර පියා සහ පුතා ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් මව සහ දියණිය රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් මහේෂිකා වීජේතුංග මහත්මිය නියෝග කළා.
ගාල්ල දංගෙදර ප්‍රදේශයේ බිත්තර වෙළඳාම් කරන පුද්ගලයෙකු තවත් කිහිප දෙනකු සමග එකතු වී වයස අවුරුදු 16ක දරුවකුට පහරදෙන දර්ශන ඊයේ (ජුනි 03) සමාජ මාධ්‍යයේ සංසරණය විය.
පහරකෑමට ලක්වූ අය බිත්තර වෙළඳාම් කරන පුද්ගලයාගේ නිවසේ සිටි අවස්ථාවේ ඔවුන්ගේ රත්රන් භාණ්ඩ සොරා ගත් යැයි පවසා ඇඳුම් ගලවා සාහසික ලෙස පහරදෙන දර්ශන එහි විය.
ඔවුන් පහරදෙමින් 16 හැවිරිදි දරුවාගේ ම දුරකතනයෙන් ඒවා වීඩියෝ කර එම දරුවාගේම සමාජ මාධ්‍ය ගිණුම වෙත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.
දහසය හැවිරිදි තරුණයකු කෲරත්වයට පත් කිරීම, ඇඳ පොල්ලකින් හෙල්මටයකින් සහ අතින් පයින් පහර දීම යන චෝදනා යටතේ මෙම සැකකරුවන් ගාල්ල පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලදී.
මේ වනවිට දරුවා ගාල්ල ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.