
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ හිස්බුල්ලා සංවිධානයේ නායකයින්ගේ නියෝජිතයන් සමඟ සිදුකළ සාකච්ඡාවලින් පසු, බේරූට් වෙත එල්ල කිරීමට තිබූ දැවැන්ත ප්‍රහාරය නතර කිරීමට හැකි වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
සිය truth social ගිණුමෙහි සටහනක් තබමින්, ට්‍රම්ප් මේ බව සඳහන් කර තිබේ.
තමන් නෙතන්යාහු සමඟ සාකච්ඡාවක නිරත වූ බවත්, එහිදී ලෙබනනයේ බේරූට් වෙත එල්ල කිරීමට නියමිතව තිබූ දැවැන්ත ප්‍රහාරයක් වළක්වා ගත් බවත් ට්‍රම්ප් සිය ප්‍රකාශයෙන් සඳහන් කර ඇත.
"මම අද නෙතන්යාහු (Bibi Netanyahu) සමඟ සාකච්ඡාවක නිරත වුණා. එහිදී ලෙබනනයේ බේරූට් වෙත ප්‍රහාරයක් දියත් නොකරන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියා. ඔහු සිය හමුදාවන් ආපසු හැරවීමට පියවර ගත්තා. ස්තූතියි Bibi !
ඒ වගේම මම හිස්බුල්ලා සංවිධානයේ නායකයින්ගේ නියෝජිතයන් සමඟ ද සාකච්ඡාවක් පැවැත්වූ අතර, ඊශ්‍රායලයට සහ එහි සෙබළුන්ට එරෙහිව වෙඩි තැබීම් නතර කිරීමට ඔවුන් එහිදී එකඟ වුණා.
ඒ හා සමානව, ඔවුන් වෙත කරන වෙඩි තැබීම් නතර කිරීමට ඊශ්‍රායලය ද එකඟතාව පළ කළා.
අපි බලමු මේ තත්ත්වය කොපමණ කලක් පවතීවිද කියා. බලාපොරොත්තුව මෙය සදාකාලිකවම පවතිනු ඇති බවයි"
ට්‍රම්ප්ගේ මෙම මැදිහත්වීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඉරාන සාකච්ඡා බිඳවැටීමේ තර්ජනය මධ්‍යයේ ට්‍රම්ප්ගේ අවධානය මෙලෙස ලෙබනනය වෙත යොමුව ඇති බවයි.
ඊශ්‍රායල හමුදාවන් ලෙබනනයේ බේරූට් වෙත කඩා වැදීමට කටයුතු කළහොත්, දැනට පවතින සාම සාකච්ඡා නතර කරන බවට ඉරානය තර්ජනය කර තිබේ.
ලෙබනන් අර්බුදය කෙරෙහි ඇමරිකානු ජනාධිපතිවරයා සෘජුවම සහ පෞද්ගලිකවම මැදිහත් වීමට ප්‍රධානතම හේතුව වූයේ මෙම තත්ත්වය බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.