
දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය නළුවෙකු වන Kim Soo-hyunට එරෙහිව අසත්‍ය සහ අපහාසාත්මක කරුණු ප්‍රචාරය කරමින් ඔහුගේ වෘත්තීය ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල කිරීමට හේතු වූ 'Hover Lab' යූටියුබ් නාලිකාව මෙහෙයවන Kim Se-ui නැමැති යූටියුබ්කරුවාව සෝල් මධ්‍යම දිස්ත්‍රික් උසාවියේ නියෝග මත ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය නිළි Kim Sae-ron බාලවයස්කාරව සිටියදී Kim Soo-hyun ඇය සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බව හැඟවීම සඳහා ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම මොහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි.
ඇය මියයාමට පෙර තමන් කුඩා කල සිටම Kim Soo-hyun සමඟ සබඳතාවක් පැවැත්වූ බව පවසන හඬ පටයක් (Voice recording) මෙම නාලිකාව මඟින් ප්‍රසිද්ධ කර තිබූ අතර, පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ එය කෘතිම බුද්ධිය (AI) මඟින් ව්‍යාජව සකස් කරන ලද්දක් බවයි.
මීට අමතරව දුරකථන කෙටි පණිවිඩ ද (Text messages) මොහු විසින් ව්‍යාජ ලෙස සකස් කර තිබේ.
Kim Sae-ron වයස අවුරුදු 24 දී සි#දිවි න#ගැනීමෙන් පසු එල්ල වූ මෙම චෝදනා හේතුවෙන් Kim Soo-hyunගේ සමාජයීය මෙන්ම ආර්ථික ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටුණු බවත්, ඔහු තවමත් මානසික ප්‍රතිකාර (Psychiatric treatment) ලබමින් පසුවන බවත් පොලිසිය පවසයි.
2025 මාර්තු මාසයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකින් පසු ඔහු කිසිදු ප්‍රසිද්ධ අවස්ථාවකට සහභාගී වී නැත.
එහිදී ඔහු කියා සිටියේ තමන් ඇය සමඟ සබඳතාවක් පැවැත්වූයේ ඇය වැඩිහිටියෙකු වූ පසුව (වසරක කාලයක් පමණක්) බවත්, තමන් නොකළ වරදක් පිළිගත නොහැකි බවත්ය.
සත්‍යය තහවුරු වී ඇති බව පවසමින් Kim Soo-hyunගේ කළමනාකාරීත්වය අද නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
"මීට වසරකට පෙර පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී Kim Soo-hyun පොරොන්දු වුණා 'මං කියන දේ විශ්වාස කරන්න කියලා මං ඔබෙන් ඉල්ලන්නේ නැහැ, මං මගේ නිර්දෝෂීභාවය ඔප්පු කරලා පෙන්වන්නම්' කියලා. පසුගිය වසර පුරාම ඔහු කැපවුණේ ඒ පොරොන්දුව ඉටු කරන්නයි" යනුවෙන් එහි සඳහන් වේ.
කෙසේ වෙතත්, අත්අඩංගුවට ගැනීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් යූටියුබ්කරු තමන්ට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, තමන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිසියට සහ අභිචෝදකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.
මිලියනයකට ආසන්න ග්‍රාහකයින් (Subscribers) පිරිසක් සිටින 'Hover Lab' නාලිකාව දකුණු කොරියාව තුළ දේශපාලන සහ විනෝදාස්වාද ක්ෂේත්රයේ 'Gossip' ප්‍රචාරය කරන ආන්දෝලනාත්මක නාලිකාවක් ලෙස ප්‍රසිද්ධය.